2015-10-11

02. සරත් අයියා...

අදට සතියයි...


ගිය ඉරිදා (2015 ඔක්තෝබර් 04) උදේ 


"මල්ලි මම ගෙදර යනවා"


 කියලා කිව්වා.

 ඒ ගියේ එයාගේ මල්ලිගේ මඟුලට ලෑස්ති වෙන්න. ගෙදර අයටයි අම්මාටයි ඕනේ කරන බඩු ගන්න සල්ලිත් අරන් තමයි සරත් අයියා ගිය ඉරිදා (2015 ඔක්තෝබර් 04) දේ ගෙදර ගියේ...

එතකොට මඟුල සුගත් අයියාගේ. සරත් අයියා කියන්නේ සුගත් අයියා ගේ අයියාට. සුගත් කියන්නේ මම නතර වෙලා ඉන්න තැන අයිතිකාරයට. නතර වෙලා නෙමෙයි මාව නතර කර ගෙන ඉන්න තැන. අයිතිකාරයා කිව්වට කුලියට තමයි එයාත් ඉන්නේ. ඒත් එයා මාව නතර කර ගෙන ඉන්නේ, කන්න බොන්න දෙන්නේ සල්ලි වලට නෙමෙයි...
එයාට බයිසිකල් කඩයක් තියෙනවා. ඒකේ කරන්නේ බයිසිකල් එකලස් කරලා විකුණන එක. ඒ වැඩ කරපු දෙන්නාගෙන් එක්කෙනෙක් තමයි සුගත් අයියාගේම අයියා වෙච්ච සරත් අයියා. තව ඉන්නවා ගයාන් කියලා කෙනෙක්...
එයාට සරත් අයියා යනකොට කියලා තියෙන්නේ 

"රෝද උඩ යන ගමනනේ මල්ලී, කවදා එයිද ශුවර් නෑ"


කියලා

තමන් ගැන හිතනවාටත් වඩා බයිසිකල් කඩය ගැන හිතපු කෙනෙක් තමයි සරත් අයියා කියන්නේ. සමහර දවස් වල මගෙත් එක්ක රණ්ඩු ත් වෙනවා. අතින් පයින් නෙමෙයි. වචන වලින්...
දවසක් කකා ඉන්න කොට කෑම දැම්මා සත්තුන්ට. පුටො තොගයක් ආවා ඒවා කන්ට. මට පෙනෙන්ට බැරි උන් ඇවිත් කෑම තැන තැන දාන එක. මම කෑ ගැහුවා...

"මොකක්ද සරත් අයියා කරන්නේ? මේ හැත්ත ඔය කෑම සයිකල් උඩ දානවා තේරෙන්නේ නැද්ද?"
"අඩා ලේනුන්ට දැම්මේ."
"යකෝ උන් දන්නවද ලේනුන්ට ද, කාක්කොන්ට ද දැම්මා කියලා?"

එයාටම තේරුණා වෙච්චි අතපසු වීම. කට පියා ගත්තා. එච්චරයි. 

ඒ වගේමයි පුදුම බණ පිස්සෙක්. බණක් ඇහෙන පමාව විතරයි මම කරන්නේ සද්දේ අඩු කරන එක. ඒකට මෙයා. පට්ට සද්දෙට දානවා. මට නම් මළ විකාර. මොකද බුදු දහමෙත් නිකායවල් තියෙනවා නේ. එක නාලිකාවක උදේ හාමුදුරුවෙක් දෙයියන්ට බනින කොට ඒ නාලිකාවටම හවස එන හාමුදුරුවෙක් දෙයියෝ අදහන්ට කියනවා. තව කෙනෙක් විද්‍යාව සම්බන්ධ කරගෙන බණ කියන කොට තව කෙනෙක් වහින්නේ වළාහක දෙයියෝ නිසා කියලා කියනවා. ජාති දෙකක බණ අහන කොට කේන්ති එන එක මට වුණාට සරත් අයියාට එහෙම නෑ. බණ කියන එක ඇහුණා නම් ඇති.


"ඔය හාමුදුරුවොන්ගේ බණ හොඳයි මල්ලි"

ඕක තමයි කටේ තියෙන්නේ...

ඒ වුණාට නිතරම වචන හරඹ නෑ. මට කොන්දේ අමාරුවක් හැදිලා හිටියා. එදා එයා කරේ මම යන්න කලින් උණු වතුරෙන් තවලා බාම් ගාලා අතුල්ලපු එක...

මම පදින සයිකල් එක අමුතුම පාට එකක්. ඒක මම ම කියලා තීන්ත ගා ගත්තේ මම එතන ඉන්න වෙලාවක. ගොඩාක් අය ඒකට කැමති වුණා. සරත් අයියා කිය කියා හිටියේ තව පාටක් ගාලා දෙන්නම් කියලා. පැටල් දෙක චුට්ටක් බුරුල් ඒ දෙකත් හදලා දෙන්නම් කියලත් කිව්වා...

ගිය ඉරිදා එයා ගියාට පස්සේ එයාලගේ අම්මා නුවර ඇවිත් තිබුණා. එයාලා ඉන්නේ හඟුරන්කෙත නිසා ඒ අම්මාව ගෙදර එක්කන් යන වැඩේ සරත් අයියට දෙන්න කියලා මම සුගත් අයියට කිව්වා. ඒ වෙන කොට සුගත් අයියා කොළඹ හිටිය නිසාත්, සරත් අයියා ගෙදර යන්නේ නුවර හරහා නිසාත් සුගත් අයියා ඒකට එකඟ වුණා...


සඳුදා (2015 ඔක්තෝබර් 05) මට විභාගේ. මළ කරුම විෂයක් තිබුණේ. මොනවා කරන්නද ඉතින්. මම ඉරිදා ඒකට ලෑස්ති වුණා. ඉරිදා (2015 ඔක්තෝබර් 04) මම නතර වෙලා ඉන්න තැනට එහෙමත් නැත්නම් සයිකල් කඩේට යනකොට චූට්ටක් විතර පරක්කු වුණා. මට මතක් වුණේ සුගත් අයියාගේ අම්මාව. ටක් ගාල සුගත් අයියට කතා කරා. 

එයා ගෙන් උත්තරයක් නෑ. ඊට පස්සේ සරත් අයියට කතා කරා...
එයාගේ දුව උත්තර දුන්නේ. 

"හෙලෝ, සරත් අයියා ඉන්නවද?"
"අනේ තාත්ති ඉස්පිරිතාලේ. පපුවේ අමාරුවක් හැදිලා නතර කරන්න ගියා."
"ආහ් එහෙමද? අම්මාට දෙන්නකො පොඩ්ඩක්."
"අම්මි. ම්හ් ම්හ් අම්මි... එයාට දැන් කතා කරන්න බෑ."

 එතකොටම කවුදෝ කෙනෙක් ජංගම දුරකතනය ගත්තා..

"හෙලෝ"
"හෙලෝ, කවුද මේ?"
"ඔය කවුද?"
"මම යාපනේ ඉන්නේ"
"ආ ආ සරත් ගේ වැඩපොලේද?"
"ඔව්. සරත් අයියා ඉස්පිරිතාලේ නේද? වෙනදා ගියපුවාම කෝල් කරනවා අද එහෙම කරේ නෑ."
"ඔව් ඉස්පිරිතාලේ නතර කරා. දැන් නැති වෙලා ඉන්නේ."
"හ්හෑ...."
"ඔව්"
"ආ ආ මම තියන්නම්"

මෙහෙම කියලා මම තිබ්බා...

6 comments:

  1. Replies
    1. හ්ම්ම්ම්...
      ඇත්ත කතාවක් ඒක...

      Delete
  2. සමහර එවුන්ට ගාණක් වත් නෑ, ගහෙන් ගෙඩි එන්න වගේ ඔහේ කියලා දානවා.

    ReplyDelete
    Replies
    1. ඔව්... ඒත් අදහා ගන්ට බැරි වුණේ උදේ පාන්දර ගෙදර ගිය මිනිහා හවස වෙන කොට මැරුණ එක...

      Delete
  3. Hitha Honda manussayek .... Ehema aya wadikal me loke inne naa... Ape awasanawata .... Mage athimale bappa bolg post eka kiyawanna ... Me wagema Duka hithena kathawak...

    ReplyDelete