2015-10-26

04. මා ශ්‍රී ලංකාවේ ජනාධිපති නම් කුමක් කරම්ද???

[පූර්විකාව...]



මා ශ්‍රී ලංකාවේ ජනාධිපති නම් කුමක් කරම්ද?

කෙනෙක් හට කළ හැකි හෝ කළ නොහැකි බොහෝ දේ ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ නම් එක් අයෙක් හට කළ නොහැකි දේවල් නැති තරම්ය. ඒ පුද්ගලයා නම් ශ්‍රී ලංකාවේ පාලකයාය. එනම් ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමාය. කෙසේ හෝ මා ශ්‍රී ලංකාවේ ජනාධිපති නම් කළ යුතු හා නොකළ යුතු යැයි මට හැඟුණු කාරණා බොහෝය...

මුලින්ම පළමුව මම කරනුයේ මගේ දැනට පවතින වැටුප අඩු කිරීමය. ඊට සාපේක්ෂව මැති ඇමති වරුන්ගේ ද වැටුප අඩු කරමි. මන්ද යත් මුල් පුටුවට හා මැති සභයට ජනතා වරමින් පත් වන නිසා වැඩි වැටුප් ගැනීම ඔවුනට කරන අසාධාරණයක් වන බැවිනි. වත්මන් ජනාධිපති, මැති ඇමති ආදී වැටුප් උවමනාවටත් වඩා වැඩිය. එබැවින් එම වැටුප අඩු කර එයින් විශාල මුදලක් රට සංවර්ධනය කිරීමටත්, අලුත උපන් දරුවාට පවා පැනවී ඇති ණය මුදල් ගෙවා දැමීමටත් යොදා ගත හැක…

සංවර්ධනය කිරීම යනුවෙන් අදහස් කළේ රට ස්වයංපෝෂිත කිරීමයි. ලැබෙන සියලුම ආදායම් වලින් මහා මාර්ග සංවර්ධනය කර මඟ නැගීමට පෙරත්, වරාය ගුවන් තොටුපොළ ආදිය අනවශ්‍ය ප්‍රදේශ වල අනවශ්‍ය ලෙස සෑදීමට පෙරත් ශ්‍රී ලංකාවේ කළ හැකි, කළ යුතු වැඩ බොහෝ වෙයි. දැනට ඉතාම අබලන් වූ මාර්ග හැරුණු විට තිබෙන මාර්ග කඩා නැවත සෑදීමට උත්සාහ නොකරමි. මන්ද යත් ඒවා පාවිච්චි කිරීමට හැකි නිසාවෙන් ජනතාව ඒවා කෙසේ හෝ පාවිච්චි කරන බැවිනි…

ඊළඟ පියවර ලෙස එම මහා මාර්ග ආදිය සෑදීමට වියදම් වන මුදල් හා ශ්‍රමය භාවිතා කර රට කෘෂිකර්මාන්තයෙන් නගා සිටුවීමට කටයුතු කරමි. මෙරටට ගැළපෙනුයේ යුරෝපයේ මෙන් ගොඩනැගිලි වලින් සමන්විත වූ නගර නොව කෘෂිකාර්මික සමාජයකි. එවිට අපේ රටට අවශ්‍ය බිත්තර වී ආදිය අපටම නිපදවා ගත හැක. වර්තමානයෙහි මෙන් ගොවිතැන හරියට නොකරන රටවල් වලින් බිත්තර වී, පොහොර ආදිය ආනයනය නොකරමි. එනම් රටට අවශ්‍ය දේ සඳහා ශ්‍රමය, කාලය, මුදල් වැය කරමි. එවිට රට ඉහළ තැනක ඔසවා තැබිය හැක. අතීතයේ සිදුවී ඇත්තේ ද එයයි...

වරායන් සඳහා යොදන මුදල් වැව් ආදිය සඳහා යොදවමි. මම ද ඒවාට උපරිම සහයෝගය ලබා දෙමි. එවිට වැසි දිය නොමැති කලෙක වුවද කෘෂිකාර්මික කටයුතු සිදු කළ හැකිය. එමෙන්ම ගුවන් යානා, වාහන ආදිය සෑදීමට පෙර  ඉදිකටුවේ පටන් රටට අවශ්‍ය දේ සෑදීමට උත්සාහ කරමි. දැනට රටට අවශ්‍ය දේවල් සාදා ගත් විට පසුවට අවශ්‍ය දේවල් සාදා ගැනීමට ඉබේටම මඟ පෑදෙනු ඇත…

උවමනාවට වඩා ආරක්ෂක අංශ පිරිවරා ගෙන නොයමි. එසේ යාමට කිසිම කෙනෙකුට ඉඩ නොදෙමි. නිතර ගමන් යාමෙන්ද වැලකී සිටිමි. මන්ද එවිට ජනතාව බොහෝ අපහසුතාවයට පත් වන නිසාය. අග නගරයේ සිට ඕනෑ තරම් රට පාලනය කිරීමට ඉඩ කඩ ඇති බැවින් එසේ වැඩ කරමි. අත්‍යවශ්‍යතාවයකට මිස මඟට නොබසිමි. උත්සව අඩු කරමි. මා මෙන්ම සියලුම ජනයාට අපහසුතාවයකින් තොරව ගමන් කිරීමට ඉඩ සලසා දෙමි…

රාජකාරී වාහන, රාජකාරී ගුවන් යානා, රාජකාරී දුරකතන ආදිය පවුලේ අයට පාවිච්චි කිරීමට නොදෙමි. මැති ඇමැතීන්ගේ ද, නිළධාරීන්ගේ ද, පවුල් වල අයට  රජයේ දේ පාවිච්චියට ඉඩ නොදෙමි. රාජකාරී කරන අය හැර අන් අය සාමාන්‍ය වැසියන් නිසා ඒ අය සඳහා රජයේ දේපළ අයුතු ලෙස ලබා නොදෙමි…

සහෝදර ඥාති හිත මිත්‍රාදීන් රටේ පාලනය සඳහා සහභාගි කර නොගනිමි. එමෙන්ම කිසිම කෙනෙකුට අවශ්‍ය පරිදි පක්ෂග්‍රාහී ලෙස නීති රීති වෙනස් නොකරමි. සහ එයට ඉඩ නොදෙමි. වැරදි කරන අය සඳහා සුදුසු දඬුවම් ලබා දීමට අණ කරමි. එවිට අනාගතයේදී වැරදි කිරීම් අඩු වෙනවා ඇත…

පාට පක්ෂ භේදයකින් තොරව අවශ්‍ය පුද්ගලයන්ගේ අදහස්, උපදෙස් ආදිය සැලකිල්ලට ගනිමි. තමන් විසින් අතිගරු, ගරු ආදී විශේෂණ යොදා නොගනිමි. විධායකයේ බලතල අඩු කර ව්‍යවස්ථාදායකයේ බලතල වැඩි කරමි. ඉන්පසු සෑම මැති ඇමැති කෙනෙක්ම පාලනයට සහභාගී කරගෙන ඔවුන් ලබාදෙන උපදෙස් ආදිය පිළි ගනිමි. එහෙත් කොතරම් සංවිධානය වී හෝ ඔවුන්ගේ වාසි සහ වර ප්‍රසාද සඳහා ඉදිරිපත් කරන කිසිම යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙමි...

පොලිස් බලතල මැති ඇමැති බලතල අනවශ්‍ය ලෙස භාවිතා කරනා අයට දඬුවම් ලබා දෙමි. ව්‍යාජ විනය පරීක්ෂණ රටට පෙන්වීම සහ ගෙන්වීම නොකරමි. නිසි ලෙස ක්‍රියා කරන රාජ්‍ය සේවයක් ඇති කරමි. රටට විශාල පිළිලයක් වී ඇති මත් ද්‍රව්‍ය රටෙන් තුරන් කිරීමට කටයුතු කරමි. "තිතට මත" වීමට ඉඩ නොතබා සැබවින්ම "මතට තිත" තියමි. ඕනෑම පුද්ගලයෙකුට ඇති ගැටළු දැන්වීම සඳහා විශේෂ ලියුම් පෙට්ටි තබමි. එවිට ප්‍රාදේශීය පාලකයන්ට එම ගැටළු වලට විසඳුම් ලබා දිය හැක…

මුදල් හදල් තිබූ නිසාම ආචාර්ය පදවි ලබා නොදෙමි. රට පාලනය කිරීමට මැතිවරණ සඳහා ඉදිරිපත් වන පුද්ගලයන් සඳහා සුදුසුකම් අනිවාර්ය කරමි. සැබැවින්ම උගත් බුද්ධිමත් අයට වැඩි සැලකිල්ලක් දක්වා ඒ අපේක්ෂකයන්ට අවස්ථාව ලබා දෙමි. එවිට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සැබෑ උගතුන්, බුද්ධිමතුන් රටේ පාලනය සඳහා සහභාගි කරවා ගැනීමට හැකිය…

ලංකාවේ උසස් පෙළ නම් තීරණාත්මක කඩ ඉම පසු කරනුයේ ඉතා සුළු පිරිසකි. විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන්නේ ඉන් ද සුළු පිරිසකි. එම නිසා විශ්ව විද්‍යාල වල පවතින අඩුපාඩු ඉතා ඉක්මණින් අවසන් කරමි. එසේ කරනුයේ ලංකාවේ සුපිරිතම බුද්ධිමතුන් ගොන්න වෙනුවෙන් කරන ගෞරවයක් වශයෙනි…

මැති ඇමැති පාලක වැටුප් අඩු කරනුයේ ඔවුන් ජනතා වරමින් රැකියා කරන නිසාය. නමුත් වෛද්‍ය, ඉංජිනේරු, ගුරු වෘත්ති වල නිරත පුද්ගලයෝ හා සුළු සේවක සේවිකාවෝ තමන්ගේම උත්සාහයෙන් රැකියා කරන අය වෙති. එම නිසා ඔවුන් ගේ වැටුප් විෂමතා ඉක්මණින් අවසන් කරමි. එමෙන්ම සියළු දෙනාටම ජීවත් වීමට සරිලන වැටුප් ලබා දෙමි. වියපත් අයට ලබා දෙන සොච්චම් මුදල වෙනුවට එම මුදල වැඩි කර ලබා දෙමි. කුමන අයුරකින් හෝ දියවු, වැටුප් වැඩි කරවු වැනි දෑ කියමින් උද්ඝෝෂණ ආදිය පැවැත්වීමට ඉඩ නොතබා සියළු දෙනා ගේම ඉල්ලීම් ගැන සාධාරණව සිතා බලා කටයුතු කරමි. ඕනෑම රැකියාවකට ගැළපෙන පරිදි වැටුප් ලබා දීමට කටයුතු කරමි. රටේ ආදායමෙන් විශාල ලෙස ලබා දෙන සහනාධාර දීමනා අඩු කරමින් ඒ වෙනුවට සියළු දෙනාටම එක සේ බෙදී යාමට බඩු මිල අඩු කරමි. පවුල් වලට ලබා දෙන සහනාධාර වෙනුවට ඔවුන්ට ස්වයං රැකියා සඳහා අවශ්‍ය උපදෙස් හා උපකරණ ලබා දීමට කටයුතු කරමි. රටේ ආදායමෙන් වැඩි ආදායමක් උපයන (තේ දළු නෙලීම, ඇඟළුම් සේවය, පිට රට ගෘහ සේවිකා) කාන්තාවන් සඳහා සුදුසු පියවර ගැනීමට අදාල අංශ වෙත උපදෙස් ලබා දෙමි...

අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් මැති ඇමැතිවරු පත් කරමි. එවිට ද ජනතා මුදල් ඉතිරියක් වේ. ජනාධිපති වන මා හට විරුද්ධව වුවත් නඩු පැවරීමට හෝ නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට අවශ්‍ය නම් එසේ කිරීමට අවසර ලැබෙන ලෙස නීති රීති සකස් කරමි. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇති නීතිය තදින් ක්‍රියාත්මක කරමි. එවිට මා හට පක්ෂව හෝ විරුද්ධව කතා කරන දේවල් වලින් රටේ තොටේ ඇති ප්‍රශ්න ගැනත් මගේ හෝ රජයේ වැරදි ක්‍රියාවන් ගැනත් දැන ගැනීමට හැකිවන නිසා ඒවාට නියමිත අයුරින් පිළියම් යෙදීමට හැකි වෙයි…

කිසියම් අයුරකින් පුද්ගලික තරහා මරහා ආදිය පිරිමසා ගැනීමට කටයුතු නොකරමි. මාධ්‍ය සඳහා උපරිම නිදහස ලබා දෙමි. මාධ්‍ය මර්ධනය නවතා මාධ්‍ය සංවර්ධනය ඇති කිරීමට කටයුතු කරමි…

මව්බිම බේරා ගත් රණ විරුවන් සඳහා නිසි සැළකිලි ලබා දෙමි.නිසි පරිදි ඔවුන් සියළු දෙනාට ගෞරව කරමි. රණවිරු උත්සව වලදී ඔවුන්ගේ ආචාර ලබා ගැනීමට කටයුතු නොකරමි. මන්ද සියළු දෙනා ආචාර කළ යුත්තේ රණ විරුවන්ට නිසා ඔවුන් ගේ ආචාරය මම පිළි ගැනීමත් ලබා ගැනීමත් රණ විරුවන්ට කරන මදි පාඩුවක් බැවිනි.

දසරාජ ධර්මය නැමැති පාලනය සඳහා වූ ආචාර ධර්ම පද්ධතිය ක්‍රියා කරමි. එයින් සැමට යහපතක් සැලසේ. එමෙන්ම සමානාත්මතාවය යන වදනට නියම අරුතක් දෙන පරිදි සියළු දෙනාටම සැළකීම සිදු කරමි. විදුලිය නැති කමින් පීඩා විඳින ප්‍රදේශ වලට වහා විදුලිය ලබා දීමට කටයුතු කරමි. එමෙන්ම ජලය නොමැති ප්‍රදේශ වල අයට ජල පහසුකම් ලබා දීමට කටයුතු ඉක්මන් කරමි.

තමන්ගේ වාසිය සඳහා ආණ්ඩුවට එකතුවන අය සඳහා විශේෂ සැළකිලි නොදක්වමි. මාගේ "දෑත් ශක්තිමත් කිරීමට" යයි පවසමින් තමන්ගේ පවුල් වලත් දෑත් හා කුසවල් ශක්තිමත් කිරීම සඳහා කිසිදු වරප්‍රසාදයක් ලබා නොදෙමි. එමෙන්ම බලෙන් කිසිම අයෙකුගේ පක්ෂපාතිත්වය ලබා ගැනීමට කටයුතු නොකරමි. ජනප්‍රිය හා රටේ වැදගත් යයි සැළකෙන පුද්ගලයන්ගේ සහයෝගය බලෙන් ලබා ගැනීමට කටයුතු නොකරමි. නිකරුනේ ඔවුනට උපන් දින සුභ පැතුම්, නව වසර සුභ පැතුම් ආදිය ලබා දීමට කරදර නොවෙමි. කැමැත්තෙන් සහයෝගය දෙන අය භාර ගනිමි.

අග විනිසුරු, නීතිපති, තානාපති, කොමසාරිස් ආදී මම විසින් පත් කරන තනතුරු සඳහා හිත මිතුරන්, ඥාතීන් වෙත විශේෂ අවස්ථාවන් ලබා නොදෙමි. සුදුසුම කෙනාට සුදුසුම තැන ලබා දෙමි. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව නියමිත පුද්ගලයා නියමිත රැකියාවට හෝ තනතුරට නියම කරමි. හමුදා පුහුණු, දේශීය විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව, විදේශීය විශ්ව විද්‍යාල ශිෂ්‍යත්ව සඳහා සුදුසු අය පමණක් නිර්දේශ කරමි. නුසුදුසු අය පත් වුවහොත් පහ කරමි. හෝ පත් වූ තැනැත්තාට වඩා සුදුසුකම් ඇති අය සිටියහොත් කෙසේ හෝ එම අවස්ථාව ලබා දෙමි.

විදේශ රටවල් හා ගණු දෙණු කිරීමේදී කිසිම අයුරකින් අසාධාරණයක්, අයුක්තියක්, රටේ ජනතාවට සිදු වීමට ඉඩ නොතබමි. කිසිම විටෙක කොන්දේසි වලට යටත් නොවෙමි. සෑම විදෙස් නායකයෙකු සමඟම සහයෝගයෙන් කටයුතු කරමි. අනවශ්‍ය අයුරින් රටට බලපෑම් වන ගිවිසුම් වලට නොයා රටටත් ජනතාවත් වාසියක් වන ගිවිසුම් සඳහා පමණක් ඉදිරිපත් වෙමි.

සියළුම අංශ සඳහා ඒ ඒ අංශ වල විශේෂඥයින් ගෙන් උපදෙස්, අදහස්, අවවාද, අනුශාසනා ලබා ගැනීමට නොපැකිලිව ඉදිරිපත් වෙමි. එය ලැජ්ජා සහගත කරුණක් ලෙස නොසළකා කටයුතු කරමි.

"මට පෙර රට" අන ආදර්ශය සෑම විටම වචනයෙන් නොව ක්‍රියාවෙන් පෙන්වා දෙමි. කෘෂිකර්මාන්තය ඇතුළු අනෙකුත් සංවර්ධන වැඩ කටයුතු වලදී උත්සව ආදිය සඳහා අනවශ්‍ය ලෙස කාලය, මුදල්, වැය නොකරමි. විශ්ව විද්‍යාල සඳහා සුදුසුකම් නොලබන සිසුන් සඳහා වෘත්තිය පුහුණු පාඨමාලා ආරම්භ කරමි. එමෙන්ම වෘත්තිය පුහුණු පාඨමාලා පාසල් විෂය මාලාවට සමගාමීව ඉගැන්වීමට කටයුතු කරමි.

තවද මම ජීවත් වී සිටින තුරු පාසල්, මාර්ග, පාලම් හා වෙනත් තැන් සඳහා මාගේ නම යෙදීමට කිසිසේත්ම ඉඩ නොදෙමි.

රට දියුණු වී ඉහළ තැනක වැජඹෙන විට පමණක් සෑම දෙනාටම මා සිහි වීම සඳහා නම තැබීමට මම එක සිතින්ම කටයුතු කරමි.



19 comments:

  1. හොඳ වෙලාවට උඹ ජනාදිපති නොවුනේ.... ඒක නෙවෙයි අපේ ජනාධිපති තුමත් ඒ කාලේ රචනයක් ලිව්වලු. එතුමා ලිව්වේ.... "මම ඔහේ නිකන් ඉඳිමි" කියලලු.

    ReplyDelete
    Replies
    1. පරමාදර්ශී ජනපති තුමනි ඔබට ජය. :D :D :D

      Delete
    2. බණ්ඩා,
      ඉන්ටකෝ... තව ජනාධිපති පෝස්ට් එකක් එයි ඉස්සරහට...

      Delete
  2. ලංකාව නොවෙයි කල්පිටිය පැත්තේ තියන පොඩි දුපතක් හොයාගන්න එතකොට හරි

    ReplyDelete
  3. කවුරු කොතෙන්ට ගියත් ඔච්චරයි චතුරෙ.. ටික දවසක් යද්දි අර තත්වෙටම එනව..
    නායක් හින්දි පිචර් එක බලල තියේද.. ඒ වගේ දේවල සැබෑ ලෝකෙ වෙනව අඩුයි.. මොකද ගෘහමූලිකයෙක් වුණා වගෙ නෙවී.. ජනාධිපති කෙනෙක් වුණාම.. පරාසය පුලුල්.. සිරා තුමත් පේන්නෙ නැද්ද..
    යන්නෙ කොහෙද - මල්ලෙ පොල්...

    මං දැක්ක බුකියෙ පෝස්ට් එකක් දාල තියෙයි.. තිබ්බෙ මෙහෙමයි..
    මහින්ද රාජපක්ෂ- වැඩි වැඩ වැඩි ලෙඩ
    චන්ද්‍රිකා කුමාරතුංග - අඩු වැඩ අඩු ලෙඩ
    මෛත්‍රීපාල සිරිසේන- වැඩ නැත ලෙඩ නැත..

    හැක්..

    ReplyDelete
    Replies
    1. ආපෝ...
      දැන් නම් එපා වෙලා තමයි...
      හැක්...

      Delete
  4. අනේ ජනාධිපති තුමා....., තීම් කලර් එක ටිකක් අඩු කරන්න.එතකොට ඇහැට සනීපයි.ඊට පස්සේ රට හදන්න.හී ...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි... කලිනුත් කෙනෙක් දාලා තිබුණා ඒ ගැන...
      අඩු කරන්නම්...

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මම ලංකාවේ ජනාධිපති වුනොත්,

    මුලින්ම ඉල්ලා අස්වීමේ ලිපිය ලියලා බාර දෙනවා. පස්සේ ගෙදර ඇවිත් හිටිය වගේම ජීවත් වෙනවා.

    නිමි.

    ReplyDelete
  7. කෝ මේ ජනාධිපති තුමා .... බ්ලොග් එකේ මහජනතාවගේ ගැටලු වලට කිසිම පිළිතුරක් දීලා නැහැනෙ.... ඔහොම පුළුවන්ද රට හදන්න ....?....හී හී ....!....

    ReplyDelete
    Replies
    1. පුළුවන් නම් මගේ බ්ලොගේ මුල්ම පෝස්ට් එක කියවලා බලන්න කියන එක තමයි මේකට උත්තරය...
      බොහෝම ස්තූතියි බලලා යන්ට ආපු එකටයි අදහස් දුන්න එකටයි...
      උත්තර ටික අවස්ථාවක් ආපු ගමන් දෙනවා...

      Delete
  8. මගේ බඩවියත ගැනත් කතා කරලා තියන නිසා ඔබතුමාට උපරිම සහයෝගය දෙනවා.

    ReplyDelete
  9. ඔන්න ඕක හින්දනේ ජනාධිපතිකම දෙන්න හිතෙන්නේ නැත්තේ.

    ReplyDelete
    Replies
    1. ඉන්ටකෝ ටිකක් තව එකක් තියෙනවා දාන්ට...

      Delete