2018-05-31

40. යුද පිටිය... සටන් බිම...



යුද්ධයකට යන්ට කලින් යුද්ධ කරන තැන ගැන අවබෝධයක් ලබා ගන්න එක හරිම වටිනවා...

මතක ඇතිනේ    අර යුද්ධය???

 කණ්ඩායමක් අරන් ගිහින් ඒ වගේම කණ්ඩායමක් එක්ක යුද්ධ කරන්ට යන විදිහ...
ඒක පටන් ගන්නේ කණ්ඩායම් දෙක එකම විදිහට පෙල ගැහුණාට පස්සේ නේ...
ඒ කණ්ඩායම් දෙක පෙල ගැහෙන තැන තමයි යුද පිටිය. එහෙමත් නැත්නම් සටන් බිම...
මෙන්න මේ සටන් බිම ගැන හරි අවබෝධයෙන් ඉන්න කෙනාට පුලුවන් ලේසියෙන් සටන දිනන්ට...



හොඳයි...

මේ චෙස් කියන යුද්ධය කරන  යුද පිටිය තමයි චෙස් පුවරුව කියන්නේ...
ඒක ගැන දළ අවබෝධයක් ගත්තා ට පස්සේ යුද්ධය කරන්ට ලේසි වෙනවා...
ඒ කියන්නේ චෙස් අදින්ට ලේසි වෙනවා...
එහෙම නම් සටන් කරන්ට කලින් සටන් බිම ගැන දැන ගන්න වැඩේ පටන් ගන්ටයි යන්නේ...


මුලින්ම දැන ගන්ට ඕනේ දෙයක් තියෙනවා...
12 වරක් 12 කීයද?
දන්නවා නේ ඒකට උත්තරය?
144 යි...

එතකොට 8 වරක් 8 කීයද?
ඒකත් දන්නවා නේ...
64 යි...

64 ගැන නම් ඕනෑවටත් වඩා දන්නවා ඇතිනේ...

හරි හරි ඒකෙන් මේකෙන් වැඩක් නෑ...

12 වරක් 12 කියන එකෙයි 8 වරක් 8 කියන එකෙයි වෙනස තමයි ගමේ දාම් ලෑලෙයි චෙස් ලෑල්ලෙයි වෙනස...

එක පැත්තකට කොටු 12 ගාණේ කොටු 144 ක් තියෙන ලෑල්ලක් දාම් අදින්ට ගන්නවා. ඒ වුණාට චෙස් අදින්ට ගන්නේ එක පැත්තකට කොටු 8 ක් ගාණේ කොටු 64ක් තියෙන පුවරුවක්...

 සුදු ( ලා ) පාට කොටු 32 කින් වගේම කළු ( තද ) පාට කොටු 32 කින් තමයි මේ ඔක්කෝම කොටු 64 හැදෙන්නේ...

මෙන්න මේ පින්තූර වගේ...

















ඇයි මේ පින්තූර දෙකක් දාලා???
මේ දෙකේ වෙනසක් තියෙනවා ද???

චුට්ටක් බලන්ට හොඳට...
අහු වුණා නේද වෙනස?

සමාන පින්තූර දෙකක් වුණාට ඒ දෙක පිහිටලා තියෙන විදිහ වෙනස්...
හොඳට බලන්ට දකුණු අත පැත්තේ යටම කොටුව දිහා...

එකක කළු ( තද )  පාටයි අනික් එකේ සුදු ( ලා ) පාටයි...

චෙස් සෙල්ලමක් පටන් ගන්ට කලින් චෙස් ලැල්ල තියා ගන්ට ඕනේ විදිහක් තියෙනවා...
ඒ තමයි දකුණු අත පැත්තේ යටම කොටුව සුදු (ලා) පාට කොටුවක් වෙන විදිහට තියා ගන්ට ඕනේ කියන එක...

ඒක චෙස් අදින්ට කලින් දැන ගන්ටම ඕනේ කරන නීතියක්...


මේ එක කොටුවක් කියන්නේ අර රටේ තියෙන ඉඩම් කෑල්ලක් වගේ... රට සමාන කොටස් 64 කට බෙදිලා තියෙනවා කියලා හිතා ගන්ට පුලුවන්... එක් කෙනෙකුට එක අවස්ථාවක ඉන්ට පුලුවන් එක ඉඩමක විතරයි...



හරි...
දැන් මේක දකුණු අත පැත්තේ යටම කොටුව සුදු කොටුවක් එන විදිහට තියා ගත්තාට පස්සේ මේකේ තියෙනවා හරස් පැත්තට පේළි අටක්...
කොටු අට ගාණේ තියෙන පේළි අටක්...





මේ හරස් පේළි වලට කියන්නේ රෑන්ක්ස් (Ranks) කියලා...
සිංහල නම නම් පාවිච්චි වෙන්නේම නැති තරම්...
එතකොට ඔක්කෝම හරස් පේළි ගාණ අටයි...
එක එක හරස් පේළිය වෙන් කර ගන්ට ඒවාට වෙන වෙනම නම් අටක් තියෙනවා...
ඒවා නම් කරන්නේ එකේ ඉඳන් අට වෙනකම් ඉලක්කම් වලින්...

යට ඉඳන් ( එහෙමත් නැත්නම් උඩ ඉඳන් ) නම් කරන්ට ගත්තොත්  එකේ ඉඳන් අට වෙනකම් හරස් පේළි ටික  නම් කරන්ට පුලුවන්...



සටන පටන් ගන්ට කලින් සේනා පෙළ ගැහෙද්දී මුල් පේළි දෙකේ එහෙමත් නැත්නම් පළමු වෙනි දෙවෙනි හරස් පේළි දෙකේ ඉන්නේ සුදු පැත්තේ සේනාව...
අවසාන පේළි දෙකේ එහෙමත් නැත්නම් හත් වෙනි අට වෙනි හරස් පේළි දෙකේ ඉන්නේ කළු පැත්තේ සේනාව...

ඒ කියන්නේ චෙස් අදින්ට පටන් ගන්ට කලින් ඉත්තෝ තියන කොට පළමු වෙනි දෙවෙනි හරස් පේළි දෙකේ සුදු පාට ඉත්තෝ තියලා හත් වෙනි අට වෙනි හරස් පේළි දෙකේ කලු පාට ඉත්තෝ තියලා අදින්ට පටන් ගන්නවා කියන එක...

ඒ විදිහට ගත්තාම
තුන් වෙනි හතර වෙනි පේළි දෙක සමීප වෙන්නේ සුදු පැත්තට...
පස් වෙනි හය වෙනි පේළි දෙක සමීප වෙන්නේ කළු පැත්තට...

අන්න එතකොට චෙස් පුවරුව කොටස් දෙකකට බෙදන්ට පුලුවන්...
ඒ කොටස් දෙක මෙහෙමයි...
එකක්
කළු පැත්ත...
අනික සුදු පැත්ත...

සුදු පැත්තට 1 , 2 , 3 , 4 කියන පේළි අයිති වෙන කොට
කළු පැත්තට 5 , 6 , 7 , 8 කියන පේළි අයිති වෙනවා...





හරිනේ ඒ ටික...

දැන් බලන්ට හරස් අතට පේළි අටක් තියෙනවා වගේම කෙළින් අතටත් කොටු අට ගාණේ තියෙන පේළි අටක් තියෙනවා නේද?


ඒ පේළි වලට කියන්නේ ෆයිල්ස් (Files) කියලා...
සිංහලෙන් තීර කියලා කියන්ට පුලුවන්. ඒත් එහෙම පාවිච්චි වෙන්නේ  නෑ...
කලින් වගේමයි ඔක්කෝම කෙළින් තීරු ගාණ අටයි. ඒවාට වෙන වෙනම නම් තියෙනවා...
හැබැයි මෙතැනදී පාවිච්චි වෙන්නේ  ඉංග්‍රීසි අකුරු...
ලියන්ට ඔනේ වුණාම පොඩි අකුරු තමයි පාවිච්චි කරන්නේ...

සුදු පැත්තේ වමේ ඉඳන් දකුණට ( එහෙමත් නැත්නම් කලු පැත්තේ දකුණේ ඉඳන් වමට ) මේවා නම් කරනවා
a  ඉඳන්  h  වෙනකම්...



එතකොට සම්පූර්ණයෙන් අංකනය කරපු චෙස් පුවරුවක් මේ වගේ තියෙන්නේ...

හරි...
දැන් වැදගත් දෙයක් කරන්ට ලෑස්ති වෙන්නේ...

මේ කෙළින් තීරුයි හරස් පේළියි  නම් කරලා තියෙන විදිහෙන් මේ 64 න් ඕනෑම එකක් වෙන වෙනම අඳුරා ගන්ට පුලුවන් වෙනවා...
ඒ කොහොමද?
හරි සරලයි...

මොකක් හරි කොටුවක නමක් දැන ගන්ට ඕනේ නම් කරන්ට තියෙන්නේ ඒ කොටුව අයිති කෙළින් තීරුවේ  නමයි හරස් පේළියේ නමයි එකතු කරන එක...

උදාහරණයක් විදිහට වම් පැත්තේ යටම කොටුව ගත්තොත් එයා අයිති වෙන්නේ
a තීරුවට
ඒ වගේම එයා අයිති වෙනවා
1 වෙනි ( පළමු වෙනි ) හරස් පේළියට...

එත කොට ඒ කොටුවේ නම වෙන්නේ
a1

මේ විදිහට මේ ඕනෑම කොටුවක් නම් කරන්ට පුලුවන්...




ඒකත් හරි...
දැන් බලන්ට  චෙස් ලෑල්ලක් අරන් හරස් අතටයි කෙළින් අතටයි නැතුව තව කොටු පේළි ටිකක් හොයා ගන්ට පුලුවන්ද කියලා...

තව කොටු පේළි වගයක් තියෙනවා...
ඒවා තියෙන්නේ ඇදේට. ඒ කියන්නේ ඇල අතට...
වමේ ඉඳන් දකුණට ( එහෙමත් නැත්නම් දකුණේ ඉඳන් වමට ) උඩ පැත්තට වගේම යට පැත්තට  මේ කොටු පේලි තියෙනවා...















මේ ඔක්කෝම එක පින්තූරයකට ගත්තොත් මේ විදිහට පෙන්වන්ට පුලුවන්...



මේවාට කියන්නේ ඩයගනල්ස්  (Diagonals)  කියලා...
මෙතැනදීත් විකර්ණ කියලා සිංහල වලින් පාවිච්චි වෙනවා අඩුයි...

බැලු බැල්මට පෙනෙනවා මේ කොටු පේළි වල කොටු ගණන සමාන නැති වග...
ඒත් මේවාගෙ එක විශේෂයක් තියෙනවා...
ඒ තමයි මේ කොටු පේළියක් ගත්තාම ඒ කියන්නේ විකර්ණයක් ගත්තාම එකම පාට කොටු තමයි පේළිය පුරාවටම තියෙන්නේ...

මේවා නම් කරන කොට කොටුවල නම් උපකාර කර ගන්ට වෙනවා...
උදාහරණයක් විදිහට

d1 කොටුවේ ඉඳන් h5 කොටුවට යන විකර්ණය නම් කරන්නේ
d1h5  විකර්ණය විදිහට...
එහෙම නැත්නම්
h5d1 විකර්ණය කියන්ටත් පුලුවන්...



h2 කොටුවේ ඉඳන් b8 කොටුවට යන විකර්ණය නම් කරන්නේ
h2b8  විකර්ණය විදිහට...
එහෙම නැත්නම්
b8h2 විකර්ණය කියන්ටත් පුලුවන්...




තව චුට්ටයි...
මේකෙ තියෙන තවත් වැදගත් දෙයක් තමයි
මැද ( එහෙමත් නැත්නම් මධ්‍යය )...
මෙතැනදීත් සෙන්ටර් ( Center ) කියලා තමයි නිතරම පාවිච්චි වෙන්නේ...

චෙස් ඉගෙන ගන්න කොට මේ චෙස් ලෑල්ලේ මැද ගැන සෑහෙන්ට කතා කරන්ට වෙනවා...
මේකේ හරි මැදක් කියලා  කොටුවක් ගන්ට බෑ...
ඒ නිසා කොටු හතරක් එකට කරලා තමයි මැද කියලා සළකන්නේ...
පේනවා නේ බලපු ගමන් මොනවාද ඒ කොටු හතර කියන එක???

ඔව්...
e4 , e5 , d4 , d5
තමයි ඒ කොටු හතර...
එතකොට මේ චෙස් ලෑල්ලේ මැද විදිහට ගන්නේ ඔය කොටු හතරම...






හරි...
මූලික දේවල් වලින් දැන් තව එක දෙයක් දැන ගන්ට තියෙනවා...
ඒ ටික දැන ගන්ට කලින් සේනා දෙක පෙල ගැහිලා ඉන්න විදිහ බලා ගන්න එක හොඳයි...
ඒ නිසා ඉතිරිය ඉදිරියට...


6 comments:

  1. Thanks Chathuranga, waiting for the next post.

    ReplyDelete
  2. එළ! ඊළඟ කොටස පරක්කු මොකෝ?

    ReplyDelete
    Replies
    1. ඊළඟ ටික ළඟ ළඟ දාන්ට ඕනේ...
      එකවැර හදලා දානවා...

      Delete
  3. මේක හරි වටින සටහන් පෙළක්. මාත් ඉස්කෝලේ යන කාලේදී සෙල්ලම් කරලා තියෙනවා. පාසල් කණ්ඩායමෙත් හිටියා. දැනටත් ඔක්කොම වැඩ පැත්තක දාලා කම්පියුටරෙත් එක්ක ඔට්ටු වෙවී චෙස් සෙල්ලම් කරන වෙලාවල් තියෙනවා. තාම අවුරුදු පහක්වත් නොවිච්ච මගේ පැංචාටත් පොඩ්ඩ පොඩ්ඩ මේක මං කියලා දෙනවා. නවත්තන්නෙ නැතුව දිගටම ලියන්න. ජය! :)

    ReplyDelete
    Replies
    1. ඔව්...
      ඇත්තටම ඔයාගේ බබාට උගන්වන්ට දැන් ඉඳන්ම...
      අවුරුදු පහ හය වෙන කොට ඉක්මණටම අල්ලා ගනියි...
      මේකේ දාපු ඒවා ඇත්තටම චෙස් අදිනවා කියන එකට ලොකුවට අදාල නෑ...
      ඒවා ඉක්මණටම දානවා එකවැර වගේ ළඟ ළඟම...

      අඩුවක් තියලා යන්ට හිතෙන්නේ නැති නිසායි මේවා දැම්මේ...

      Delete