2018-02-27

37. කතාන්දරයක්... පූර්විකාවක්...


දැන්  කතාන්දරයක් දානවා, ඒක හොඳටම මතක තියා ගන්ට...
මට විශ්වාසයක් තියෙනවා මේ කතාව හොඳට දැන ගෙන හිටියොත් හොඳ විනෝදාංශය ක් ලැබෙයි කියලා...


ඔන්න එක රටක් තියෙනවා. මේ කියන රට හරි හතරැස්. මේ රට හරියටම දෙකට බෙදා ගෙන ඉන්නවා කණ්ඩායම් දෙකක්.

හරියට මෙන්න මේ වගේ...







මේ කණ්ඩායම් දෙක ගැන කියනවා නම් ඒ දෙක පට්ට සමාන කණ්ඩායම් දෙකක්...

ඒත් "සර්වසම" කණ්ඩායම් දෙකක් කියලා කියන්ට නම් බෑ...

ඇයි දන්නවාද???

මේ දෙගොල්ලෝ පාට දෙකක කට්ටිය...



එතකොට පට්ට සමානයි කියන්ට හේතුව තමයි කණ්ඩායම් දෙකේ සාමාජිකයෝ ගණන, ඒ වගේම සාමාජික සංයුතිය සමාන වෙච්ච එක...

හරි,

එහෙම නම් දැන් කණ්ඩායම් දෙකේ සාමාජිකයෝ ගැන දැන ගන්ට කාලය හරි. මෙතැනදි එක කණ්ඩායමක ඉන්න කට්ටියයි එයාලගේ හැකියාවනුයි දැන ගත්තාම හොඳටම ඇති. මොකද අනික් කණ්ඩායමේ අයටත් තියෙන්නේ ඒ හැකියාවම තමයි...

ඔන්න මතක තියා ගන්ට,

රටක් තියෙනවා. රට දෙකට බෙදා ගෙන කණ්ඩායම් දෙකක් ඉන්නවා. කණ්ඩායම් දෙක පට්ට සමානයි. හැබැයි පාට වෙනස්.





මේ එක කණ්ඩායමකට ඉන්නවා,
රජෙක්...
ඒ වගේම රැජිනියක්...
ඒ රජාට තියෙනවා එහා මෙහා ගෙනියන්ට පුලුවන් බලකොටු දෙකක්...
තව ඉන්නවා අශ්වයෝ දෙන්නෙක්...
ම්ම්ම්, එතකොට තව සාධුලා දෙන්නෙක් ඉන්නවා...
ඒ වගේම මේ ඔක්කෝම ආරක්ෂා කරන්ට දිවි හිමියෙන්  කැප වෙච්ච සෙබළු අට දෙනෙකුත් ඉන්නවා...

ඔක්කෝම වර්ග හයයි...




හා දැන් ගණන් කරන්ට කණ්ඩායමේ සාමාජිකයෝ ගණන...

රජා එකයි...

රැජිනියි දෙකයි...

බලකොටු දෙකයි හතරයි...

අශ්වයෝ දෙකයි හයයි...

සාධුලා දෙකයි අටයි...

එයාලා එකාට එක සෙබළා ගාණේ

සෙබළු අටයි...

ඔක්කෝම දාසයයි...






මේ කට්ටිය එකෙක්ට එකෙක් වෙනස්.

රජා ඉන්නවා නේද? පොර ටිකක් කම්මැලියා. ඒ පොරට රටේ ඕනේ පැත්තකට යන්ට පුළුවන්. ඒත් යන්නෙ බොහොම පොඩි දුරයි. එහා කෙලවරේ ඉඳන් මෙහාටම එන්ට වුණත් මේ රජා නම් එන්නේ ගාට ගාට. ඒකේ වෙනසක් නෑ. හැබැයි පොර ආරක්ෂා වෙන්ට මාළිගාවට යන කොට නම් අඩියක් ඉස්සර කරලා යනවා...
රජානේ...


ඒකටත් එක්ක රැජිනි. අම්මට සිරි වෙන්ට යනවා. ඒත් හරි සංවරයි. එහෙන් මෙහෙන් පැන පැන යන්නේ එහෙම නෑ. ඇත්තටම රටේ ලොක්කා රජා තමයි. ඒත් ඉතින් බලවත්ම විදිහට හැසිරෙන්නේ නම් මේ බවලතා...

එතකොට අර බලකොටු දෙකක් තියෙනවා නේද???
ඔය දෙකෙන් එකක් තමයි රජා මාළිගාව හදන්ට පාවිච්චි කරන්නේ. මේ බලකොටු එහා මෙහා අරන් යන්ට පුළුවන් වුණාට ඇදේට හරවන්ට බෑ...

අර අශ්වයෝ දෙන්නා ඉන්නවා නේද???
රජාට උඩින් කපුටෙක්ටවත් යන්ට බෑ කිව්වාට මේ අශ්වයින්ට නම් එව්වා අදාල නෑ. අදාලම නෑ. රජාගේ නෙමෙයි මොකාගේ වුණත් උඩින් පැනලා යන්ට පුළුවන් ජාතියේ දෙන්නෙක් තමයි ඒ. අනික තමයි වෙන කාටවත් ඒ උඩින් පැනීමේ හැකියාව නම් නෑ...

මැරුවත් වෙනස් වෙන්නේ නැති දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි අර සාධුලා දෙන්නා. හැබැයි ඉතින් කක්කුට්ටෝ වගේ.  මොකද කියවනවා  නම් කෙලින් ගමනක් නම් නෑ. යන්නේම ඇදේට...

පෙරමුණ බලා ගමනේ යා...
කොහේ ගියත් යන්නේ කෙලින් ඉස්සරහට විතරයි. කිසිම විදිහකින් ආපහු හැරීමක් නෑ. කවුද මේ? වෙන කවුද ඉතින්, සෙබළු තමයි. පව් ඉතින් එක වෙලාවකට. ඒත් ඉතින් මොනවා කරන්ටද? ඉදිරියටම ගියොත් ලැබෙන උසස්වීම බලාපොරොත්තුවෙන් යනවා ඉස්සරහටම...

අනික තමයි මොන දේ වුණත් එයාලා ඔක්කෝම නීතියටමයි වැඩ...


ඔය තමයි එක කණ්ඩායමක විස්තර. එතකොට ඉතින් අනික් කණ්ඩායමේ විස්තර ටිකත් ඒ ටිකම තමයි...

කතාව පටන් ගත්තේ රටක් තියෙනවා කණ්ඩායම් දෙකක් ඉන්නවා කියලානේ.
මෙයාලා මොනවද කරන්නේ එතකොට? අදහසක් තියෙනවාද නිකමට හරි???

හොඳයි...
ඒකත් දාන්නම්කෝ...

මේ දෙගොලෝ මුලින්ම එකම විදිහට පෙල ගැහෙනවා.
ඊට පස්සේ එක වාරයකට එක පැත්තක කෙනෙක් ගාණේ චලනය වෙවී ගමන් කරනවා...
අරමුණ තමයි, රටේ බලය අල්ලා ගන්න එක.
ඒක කරන්නේ රජාව අල්ලා ගන්නා එකෙන්.
මොකද, මේ එක රජෙක්වත් මරන්ට තහනම්...


මේ කතාව ඉවර වෙන්නේ,
එක්කෝ පිල් දෙකෙන් එකක් අනික් රජාව අල්ලා ගත්තොත්, එහෙමත් නැත්නම් දෙන්නාම රට බෙදා ගත්තොත්...


දැන් බලනවා ඇති මොකක්ද මේ කතාව දැන ගත්තාම ලැබෙන විනෝදාංශය කියලා...
ඒක පසුවට දැන ගන්ට ලැබෙයි...
මතකනේ...
මේක කතාන්දරයක්...
ඒ වගේම පූර්විකාවක්...

12 comments:

  1. ම්ම්ම් අපි නොදන්න චෙස්. බොහොම ස්තුතියි.
    මමත් ඉගෙන ගන්න අසාවෙන් හිටපු එත් තවමත් බැරිඋන මගේ පුංචි හීන වලින් එකක් කිව්වොත් හරි. බොහොම ස්තුතියි ඔබට. හරිම සරලයි පොඩි ලමෙකුට උනත් මතක තියාගන්න තරම්.

    ReplyDelete
    Replies
    1. එහෙම නම් දිගටම ඉන්ටකෝ...
      ඉතුටු ටිකට යමු කතාව එක්කම...

      පොඩි අයට හොඳයි නම් මරු...
      මොකද මේක පොඩි අත්හදා බැලීමක් වගේ දෙයක්...

      Delete
  2. ආවෙමි කියෙව්වෙමි... චෙස් ගැන මෙලෝ දෙයක් නොදන්නෙමි

    ReplyDelete
    Replies
    1. දිගටම එන්ට...
      කියවන්ට...
      චෙස් ගැන දැන ගන්ට...

      Delete
  3. මාත් හරි ආසයි චෙස් ඉගෙන ගන්න .ඉතුරු ටික ත් දාන්න 😊😊😊

    ReplyDelete
    Replies
    1. ඔව්...
      මේක දැම්මේ ඉස්සරහට ලේසි වෙන්ට...

      Delete
  4. එළකිරි! ඊළඟ පෝස්ට් එක දාන්න අවුරුද්දක් විතර ගන්න එපා.. :)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඉක්මනටම දානවා...
      චෙස් ලෑල්ලක් එක්ක ඉත්තෝ ටිකත් අරන් අරන් ලෑස්ති වෙන්ටකෝ...

      Delete
  5. කාලයක් ගොඩක් අසාවෙන් සෙල්ලම් කළා.දැන් නම් කිසිම දෙයක් මතක නැහැ.දිගටම ලියන්න.හොඳ මගක් වෙයි ඉගෙන ගන්නආසා යට

    ReplyDelete
  6. හය වසරෙදි විතර චෙස් ඉගෙන ගන්න ගිය හැටි මතක් වුණා.ඒත් ඉස්කෝලෙ ඉවර වෙලා ගෙදර දුවන්න තියෙන කම්මැලිකමට ඒක මඟ හැරුණා.ආයේ ඉගෙන ගන්න පුළුවන් වෙයි වගේ මේ ලිපි ටික දිගට ලියවුණොත්!!

    ReplyDelete
    Replies
    1. දිගටම දානවා...
      ඒත් මම පට්ට කම්මැලි වෙලා නේ...
      මට ඇති වැඩකුත් නෑ මහා ලොකුවට...

      Delete